මේ වනවිට සහල් මිල දවසින් දවස ඉහළ යමින් පවතී. මෙලෙස මිල ඉහළ නගින්නේ රටේ සහල් හිඟයක් ඇති නිසායැයි උපකල්පනය කරමින් වගකිවයුත්තෝ සහල් ආනයනය කිරීමට පියවර ගනිමින් සිටිති. මෙරට වෙළෙඳපළේ නාඩු සහල් කිලෝව රුපියල් 60ක පාලන මිලක පවත්වාගෙන යාම සඳහා පියවර ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී පසුගිය 15 දා තීරණය කර ඇති බවද වාර්තා වී තිබේ. මේ වනවිට සහල් තොග ඇනවුම් කර ඇති අතර, ඒවා ලද පසු පාලන මිලට නිකුත් කරන බවද ආණ්ඩුව කියයි. පසුගිය සමයේ මහා පරිමාණ සහල් වංචාවක් පිළිබඳ චෝදනා එල්ල වූ අයකුගේ මැදිහත් වීමෙන් සහල් මෙට්‍රික් ටොන් දස දහසක් ගෙන්වීමට කටයුතු කර ඇති බවටද ආරංචි පළ වේ.
පසුගිය ආණ්ඩු සමයේ මෙරට සහල් හිඟයක් උද්ගත වූ සැමවිටම බලධරයන් කළේ සහල් පිටරටින් ගෙන්වීමය. මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ ඉන්දියාවෙන් ගෙන්වූ පොන්නි සම්බා මෙට්‍රික් ටොන් 50,000 පමණ අලෙවි කරගත නොහැකිව සතොස ගබඩාවල විනාශ වෙමින් පවතිද්දී සොයාගත් බවද වාර්තා විය. මෙම සහල් ජනතාව මිලදී ගැනීමට අකැමැති වූයේ තත්ත්වයෙන් බාල බැවින් ආහාරයට ගත නොහැකි නිසාය. පසුගිය රජයේ ඇමැතිවරයකුව සිටි රිෂාඩ් බද්යුදින්ට එරෙහිව බරපතළ මූල්‍ය හා අපරාධ පර් ෙය්ෂණ කොට්ඨාසය (FCID) මගින් නඩු පැවරීමට යන බවද සැලවූ නමුත් එහි ප්‍රගතිය පිළිබඳ දැනගත නොහැකි විය. කෙසේ වුවද පසුගිය සමයේ ගෙන්වූ පොන්නි සම්බා ඇතැම් රටවල සත්ව ආහාර සඳහා යොදාගන්නා බව දැනගන්නට ලැබුණු අතර මෙම සහල් ජාවාරම නිසා එම රජයට සම්බන්ධ පුද්ගලයන් විශාල වශයෙන් අයථා ආදායම් ලබාගත් බවටද චෝදනා එල්ල විය.
තත්ත්වය එසේ තිබියදී වර්තමාන ආණ්ඩුවද සහල් පිටරටින් ගෙන්වීමට කටයුතු කිරීම තුළද දූෂණ වංචා ඇතිවන බවට රාවයක් පවතී. අන්තිම මොහොතේ මෙලෙස සහල් විවෘත වෙළෙඳපළෙන් ගෙන්වීම නිසා විවිධ දූෂණවලට අවස්ථාව ලැබී තිබේ. ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව හදිසි අවස්ථාවක් ලෙස සලකා ගෙන්වීමට කටයුතු සිදුවූයේ දූෂණයට ඉඩ සැලසීමට බවද, කල් ඇතිව මෙම ක්‍රියාවලිය ආරම්භ කළානම් ටෙන්ඩර් කැඳවීම මගින් මෙයට වඩා අඩු මිලට ගුණාත්මක සහල් ගෙන්වීමට ඉඩ තිබුණු බවටද සැක පහළ කෙරේ.
කෙසේ නමුත් සහල් ආනයනය කිරීමට මේ වනවිට රජය පියවර ගනිමින් සිටී. එසේ වුවද උත්සව සමය ආරම්භ වීමට තවත් ඇත්තේ දින කිහිපයක කාලයක් නිසා මෙසේ ගෙන්වන සහල් නත්තලට පෙර පාරිභෝගිකයාට බෙදාහැරීමට පියවර ගත හැකිදැයි සිතීම උගහට බව සමහරැන්ගේ මතය වේ. ගෙන්වන සහල් අලෙවි කිරීමට ආණ්ඩුවේ යාන්ත්‍රණයක් නොමැති අතර මෙයට පෙර කළා මෙන් ස.තො.ස මගින් බෙදාහැරීමට පියවර ගන්නවා ඇතැයි සිතිය හැකිය. එය එසේ සිදුවුවහොත් දුර බැහැර පළාත්වල පමණක් නොව නගරයේ සමහර ප්‍රදේශවල ජනතාවටද මෙලෙස අඩු මිල සහල් මිලට ගැනීමට අවස්ථාව ලැබේද යන්න සැක සහිතය.
එසේම සහල්වලට පාලන මිලක් ක්‍රියාත්මක කිරීම අපහසු අතර පසුගිය සමයේ සහල් රුපියල් 60ට පාලනය කළද එය අසාර්ථක වූයේ පාලන මිලට අලෙවි කළේ තත්ත්වයෙන් ඉතාම පහළ සහල් පමණක් වීම නිසාය. සෙසු සහල් විවිධ නම්වලින් වැඩි මිලට අලෙවි කරනු දැකගත හැකිවිය. මෙවරද එම තත්ත්වය ඇතිවනු ඇත.
කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බද්යුදින් පවසන්නේ නාඩු කිලෝව රුපියල් 78 බැගින් ස.තො.ස ආයතනවලින් නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බවයි. ඒ අතර ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී. හැරිසන් කියන්නේ ආනයනය කරන නාඩු කිලෝව රුපියල් 50-60 අතර මුදලකට අලෙවි කිරීමට කටයුතු යොදා ඇති බවය. සහල් අලෙවි මිල පිළිබඳවද ඇමැතිවරුන් දෙදෙනා මිල ගණන් දෙකක් පවසන අතර ඇත්තවශයෙන්ම සහල් ආනයනය කර බෙදාහැරීම කුමන අමාත්‍යංශයක රාජකාරියක්ද යන්න පිළිබඳ මතබේද පවතී. වර්තමාන රජයේ වාණිජ කටයුතු ඇමැතිවරයා පසුගිය ආණ්ඩුව සමයේ පොන්නි සම්බා ආනයනය කිරීමේ සිද්ධියට අදාළ දූෂණ පිළිබඳ චූදිතයකු බවට පත්වී සිටින බවද අමතක කළ නොහැකිය.
බද්යුදින් ඇමැතිවරයා පවසන්නේ උත්සව සමයේ සහල් හිඟයක් ඇතිකර වැඩි මිලට අලෙවි කිරීමට කිසිවකුටත් ඉඩ නොදෙන අතර එලෙස වැඩි මිලට විකුණන අය සොයා දිවයින පුරා වැටලීම් ක්‍රියාත්මක කරන බවය. කූට වෙළෙඳුන් අත්අඩංගුවට ගැනීමට පාරිභෝගික සේවා අධිකාරියේ විශේෂ මෙහෙයුම් ඒකකයක් දියත් කර ඇති බවද ඔහු අවධාරණය කර සිටී.
තොග සඟවාගෙන සිටින වෙළෙඳුන්ට සහ වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව කටයුතු කරන බව පී. හැරිසන් ඇමැතිවරයා පවසන අතර, හාල් මෙ.ටො 10000 ගෙන්වූ පසු සහල් මිල පහළ ගියහොත් ගෙන්වීම නතර කර දේශීය ගොවියා ආරක්ෂා කිරීමට කටයුතු කරන බවද ඔහු කියයි. ඇමැතිවරයාගේ කතාවෙන් සනාථ වන්නේ රටේ කෘත්‍රිම සහල් හිඟයක් මවාපා ඇති බව ඔහුද අවබෝධ කරගෙන ඇති අයුරුය.
කෙසේවුවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් පවසන්නේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දත්ත අනුව රටේ ජනතාවට අවශ්‍ය සහල් ප්‍රමාණය පසුගිය යල සහ මහ කන්න දෙකේදී සපුරා ඇති බවයි. මේ ප්‍රමාණ ලබන පෙබරවාරි මාසය තෙක් හොඳටම සෑහෙන බව ඔහුගේ අදහසය. දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන නිවැරදි නම් මේ වනවිට මෙම සහල් රජයේ ගබඩා, තොග වෙළෙඳුන් සහ මෝල් හිමියන් ළඟ තිබිය යුතුය. පසුගිය යල සහ මහ කන්නවල හොඳ අස්වැන්නක් ලැබී ඇති නිසා සහල් ආනයනය කිරීමට අවශ්‍ය නැතිබව ඔහු පවසයි. ඔහුගේ අදහස වන්නේ මෙම තත්ත්වය කූට වෙළෙඳුන් අතලොස්සක් නිර්මාණය කළ ව්‍යාජ හිඟයක් බවකි.
එසේම මහ කන්නයේ හෙක්ටයාර ලක්ෂ 8ක් සාමාන්‍යයෙන් අස්වද්දන නමුත් මෙවර නියඟය නිසා අස්වැද්දීමට හැකිව ඇත්තේ හෙක්ටයාර 2,80,000 පමණ ප්‍රමාණයකි. තවද දකුණේ මේ වනවිටත් කුඹුරු වගා කරන නිසා මෙවර සාමාන්‍ය වගාවෙන් සියයට 50ක් පමණ වගාවේයැයි බලාපොරොත්තු විය හැකිය. එම සියලු අස්වැන්න එකතු කළ විට ලබන වසරේ ජුනි මාසය තෙක් සහල් හිඟයක් ඇතිවීමට ඉඩක් නැති බව අධ්‍යක්ෂ ජනරාල් කියයි. තවදුරටත් ඔහු පවසන්නේ මාර්තු, අප්‍රේල් මාසවල ක්‍රියාත්මක යල කන්නයේදී හෙක්ටයාර ලක්ෂ 4ක් පමණ සාමාන්‍යයෙන් ලැබෙන අතර මෙවර එයින් අඩක් හෝ ලැබේයැයි උපකල්පනය කළහොත් ජූලි මාසය දක්වාද සහල් හිඟයක් කිසිලෙසකින් හෝ ඇතිවීමට ඉඩ නැති බවය.
කෙසේ වුවද කාටත් පෙනීයන සත්‍යයක් නම් අස්වැන්න අධිකව ලැබෙන විට ඒවා මිලට ගැනීමට රජය ගෙන ගිය වැඩපිළිවෙළ සැමවිටම අසාර්ථක වන බවය. එයට හේතු වන්නේ ප්‍රමාණවත් මුදල් වෙන් නොකිරීම මෙන්ම, අවශ්‍ය ගබඩා නොමැතිවීමත් ඇතැම් නිලධාරීන් වෙනත් වාසි තකා අස්වැන්න රැගෙන එන ගොවීන් අපහසුතාවට පත් කිරීමය. ආණ්ඩුවට වී ගබඩා කිරීමට පහසුකම් නොමැති බවට හොඳම නිදසුන වන්නේ පසුගිය වසරේ මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කිරීමට සිදුවීමය. ඒ කාලයේ වී අලෙවි මණ්ඩලය ගොවීන්ගෙන් වී මිලට ගෙන තිබුණේ බුසල රැපියල් 38 බැගිනි. මෙම වී ඉතා අඩු මිලට බියර් නිෂ්පාදන සමාගමකටද විකිණීමට සිදුවුණේ ගබඩා කිරීමට ස්ථාන නොමැති නිසා නරක් වී යාමට ආසන්න වීම හේතුවෙනි. තවද වී මෙට්‍රික් ටොන් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් රුපියල් 10 බැගින් අලාභ ලබමින් ප්‍රීමා සමාගමට කුකුළු කෑම සඳහා විකිණීමටද ආණ්ඩුවට සිදුවිය. එසේම රාජය සතුව තිබූ වී තොග ආරක්ෂා කර තබනු වෙනුවට මහා පරිමාණ මෝල් හිමියන්ට දීමටද කටයුතු සිදුවිය.
තත්ත්වය එසේ තිබියදී ස්ථිර ලෙස ගබඩා ඇති කිරීමට රජය තවමත් කටයුතු කර නැත. මේ සඳහා මෙවර අයවැයේදීද මුදල් වෙන්කර නොමැති බව පෙනේ. ආණ්ඩුව මේ සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් දියත් නොකිරීම පිළිබඳ ගොවි සංවිධාන සහ විද්වතුන් කනස්සල්ල පළකර තිබේ.
එසේම අපේ රටේ සහල් මිල තීරණය වීමද අසාධාරණ ලෙස පවතී. සාමාන්‍යයෙන් සහල් මිල තීරණය වන්නේ වී කිලෝවක මිල අනුවය. සහල් කිලෝවක මිල වී කිලෝවක මිල මෙන් දෙගුණයක් වීම වරදක් නැත්තේ සහල් කිලෝවක් නිෂ්පාදනය කිරීමට වී කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් පාවිච්චි වෙන බැවිනි. එසේ වූවද අද වනවිට පාරිභෝගිකයාට ගෙවන්නට සිදුව ඇත්තේ ව්‍යාපාරිකයන් වී මිලට ගත් මිල මෙන් තුන් ගුණයක් - හතර ගුණයක මිලකි. මෙම තත්ත්වය පාරිභෝගිකයාට වුවමනාවෙන්ම සිදුකරන විශාල අසාධාරණයකි.
උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වසන්ත අතුකෝරාළ පවසන්නේ රට තුළ අවශ්‍ය තරම් තොග ඇති නිසා සහල් ආනයනය කිරීමට අවශ්‍ය නොවන බවයි. තමා ඇතුළු කණ්ඩායමක් පසුගිය දා ගොවි ප්‍රශ්න පිළිබඳ ප්‍රදේශවලට ගොස් සමීක්ෂණයක් සිදුකළ අතර එහිදී අනාවරණය වූයේ වී අලෙවි මණ්ඩලය සතු ගබඩා 30ක් දොරටුව දක්වාම වී තොගවලින් පිරී ඇති බවයි. සමස්ත වී නිෂ්පාදනයෙන් සියයට 10ක් මිලයට ගන්න මණ්ඩලය ඒවා ජනතාවට නිකුත් නොකර ගබඩාවල පුරවාගෙන සිටී. මෙහිදී මණ්ඩලය කළයුත්තේ ටෙන්ඩර් මගින් සුදුස්සන් තෝරාගෙන ඔවුන් ලවා සහල් කරවා වෙළෙඳ පොළට නිකුත් කිරීම බව ඔහු කියයි.
සහල් ආනයනය කිරීමට යාමෙන් අවාසි දෙකක් සිදුවෙනවා. ඒකක් විදේශ විනිමය නාස්තිවීම, අනික මණ්ඩලය තබාගෙන ඇති වී තොග නැති නාස්ති වී අවසානයේදී කුකුල් කෑමවලට දීමට සිදුවීමයි. මෙම සහල් නිෂ්පාදනය කරන්නේ ගොවීන්ගේ මුදල්වලින් පමණක් නොවෙයි. රටේ සමස්ත ජනතාවගේ මුදල් මෙයට අඩංගුයි. පොහොර සහනාධාරය කියා දෙන්නේ ජනතාවගේ මුදල්. මෙලෙස නිෂ්පාදනය කරන තොග විනාශ කිරීම ජාතික අපරාධයක්. වී අලෙවි මණ්ඩලය පහළ සිට ඉහළ දක්වාම දූෂණ, වංචාවලින් පිරී ඇති ආයතනයක්. ගොවීන් වී ගෝනි 20ක් දෙනවිට මණ්ඩලයට දෙකක් අතයට දිය යුතුයි. එහෙම දුන්විට කිසිදු පරීක්ෂණයකින් තොරව බාල වී බාරගන්නවා. එසේම ඒවා පාවිච්චි කළ නොහැකිව කුකුල් කෑමවලට අලෙවි කරන විටත් නිලධාරීන් මුදල් වංචා කරනවා. අපේ රටේ දැනට සහල් අතිරික්තයක් තිබෙන නිසා වැඩිහරියක් අපනයනය කළ හැකිය. අද හැදිලා තිබෙන විදියට අපනයනය වෙනුවට සහල් ආනයනය කරන්න සිදුවෙලා.
සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සහ සිල්ලර ව්‍යාපාරික සංගමයේ ලේකම් ඩී.ජී.එම්. මඩවල
මේ රටේ සහල් හිඟයක් නැහැ. පවතින්නේ පවතින සහල් තොග නිසි පරිදි පාරිභෝගිකයාට නොලැබීමයි. ටිකෙන් ටික වෙළෙඳ පොළට දමන නිසා මිල වැඩිවෙනවා. විශේෂයෙන් කපටි ඇතැම් සහල් මෝල් හිමියන් තමන් ළඟ ඇති තොග සිරකර ගෙන සිටිනවා. ඒවා නිකුත් කරවීමට රජය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා නිසා මිල තීරණය වීමට ඒ අය තමයි බලපාන සාධකය වන්නේ. දැනට සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සියල්ලම පාහේ නැතිවී ඇති අතර මිල තීරණය කිරීමට මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට හැකිව තිබෙනවා.
අස්වැන්න කපන සමයේ ගොවියන්ගෙන් වී මිලදී ගැනීමට රජය නිසියාකාර ක්‍රියා පිළිවෙතක් අනුගමනය නොකළ බවද රජයේ වී ගබඩා අසළ දවස් ගණන් පෝලිම් ගැසී සිටීමට ගොවියන්ට සිදු වූ බවද පවසන ඒ මහතා අමාරුවෙන් සහල් දුන්නත් ඒවාට මුදල් ගැනීම තවත් අමාරු වීම නිසා මහා පරිමාණ ව්‍යාපාරිකයන් ඉතා අඩු මිලට සහල් ලබාගෙන ගබඩා කර තබාගෙන වැඩි මිලට විකුණන බවද සඳහන් කරයි.
♦ යසවර්ධන රුද්රිගූ